Thursday, September 24, 2009

මගේ පරිකල්පනයට ලැබුණ ප්‍රතිචාර..




ආදරය, විරහව.. අප කවුරුත් අපේ ජීවිත කාලයේදි විදීමකට සහ විදවීමකට ලක් කරනවා... අපිට අරමුණු, බලාපොරොත්තු තිබුනත් ඒ දේවල් බොහොමයක් භෞතිකව අපේ ජීවන ගමන වෙනස් කරන්න පුලුවන් දේවල් පමනයි.. නමුත් ආධ්‍යාත්මයත් එක්ක ගැටෙන්නෙ ආදරය සහ විරහව....
තමන්ගේ අරමුණු සහ බලාපොරොත්තු මත අපි කොහේ අවසානයේ නතර උනත් තමන් ඒ ලබාගත්තු දේ නිසා තමන් සම්පූර්ණද නැද්ද යන වග තීරනය කරන්නෙ තමන් අත්දැකපු ආදරය සහ විරහව මත....
මේ ආදරයන් සහ විරහවන් අපිට මුන ගැහෙන විදිය විවිදයි විශමයි... හැම ආකාරයේම ආදරයන් සහ විරහවන් එක පුද්ගලයෙක්ට ජීවිතයේ අත් දකින්න වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්... බොහොවිට එහෙම සියලුම ආකාරයන් එක පුද්ගලයෙක්ට අත්දකින්න වෙන්නෙ නෑ.... නමුත් මෙහෙම උනොත් මෙහෙම වෙයි... මේ විදියට උනොත් මේ විදියට වෙයි කියලා හිතන්න නම් තමන්ට ඒ හැම දෙයක් ම තමන්ගේ ජීවිතයෙන්ම අත් දකින්න ඕනෙ නෑ...
මෙන්න මේ වෙලාවට තමයි පරිකල්පනය කියන එක අපිත් එක්ක යාලු වෙන්නෙ.. අපි කවුරුත් කැමතියි තමන් ජීවිතේ අත් දකින දේවල් වලින් පොඩ්ඩක් ඔබ්බට යන්න... ඒ අත්දැකීම් මොනවගේද කියල හිතන්න... (නමුත් කරන්න යන එක හැම තිස්සෙම සුදුසු නෑ....)..
තමන්ගේ අත්දැකීම එක්ක මේ පරිකල්පනය එකතු උනාම අපෙන් එලි දකින දේ බොහෝ නිර්මාණශීලියි.. මොකද හැමදාම අත්දකින රාමුවෙන් ඔබ්බට යන්න පුලුවන් කමක් මේ පරිකල්පනය හරහා අපට ලබෙන නිසා... නමුත් මේක නිර්මානය කරන්නා වගේම නිර්මානය අත් විදින්නාත් අවබෝධ කරගත යුතු දෙයක්...
උදාහරණයක් වශයෙන්.. මගේ බ්ලොගය ගත්තොත් මගේ බ්ලොගය සාපෙක්ශව විරහව ගැන ලියලා තියෙනවා වැඩ්යි කියල ඕනෙ කෙනෙකුට හිතෙන්න පුලුවන්.... මගේ බ්ලොග් සටහන් කියවන සමහර උදවිය මාව පෞද්ගලිකව දන්නවා.. අනෙක් උදවිය මම මේ බ්ලොග් කෙරුවාව කරන නිසා පමනක් මාව දන්න කට්ටිය...(මේ වෙලාවෙදි තව දෙයක් කියන්න ඕනෙ... මේ මගේ බ්ලොග් කෙරුවාව නිසාම මාව දන්න අනෙක් බ්ලොග් යාලුවො, ජීවිතේට මුන නොගැහිලා තිබුනත්... මගේ දැන් හොදම යාලුවො වගේ මට දැනෙනවා)... දැන් ප්‍රශ්නේ පැන නගින්නේ මේ විදියට... මාව එදිනෙදා මුන ගැහෙන යාලුවො මා දිහා ආත්ම අනුකම්පාවකින් කතා කරන බවක් මට දැනෙන්න පටන් ගත්තා ලගකදි ඉදන්... නිතරම "ඕවා ගනන් ගන්න එපා, කොල්ලො ඔහොම තමයි, ආදරේ අපි හැමෝටම අපිට ඕනෙ විදියට ලැබෙන්නේ නෑනෙ, ඔයා ඔය ප්‍රශ්න නිසා ඔය ගැන කල කිරව ගන්න එපා".. මේවා මට ඇහෙන්න පටන් ගත්තා... මටත් ටික කාලයක් ගියා මොවුන් මේ දේවල් වලට මූලාශ්‍ර කරගෙන තියෙන්නේ මගේ බ්ලොග් එක කියලා තේරුම් ගන්න...
කොහොමනමුත් මට මගේ යාලුවන්ට මේ දේ කියන්න නම් හිතුනා... ඒ මගේ පෞද්ගලික තොරතුරු ආශ්‍රය කරගෙන මගේ හැම නිර්මාණයක්ම සිදු නොවන බව.. මම දුටුවා මේ ප්‍රශ්නයට මුහුන දුන් තවත් බ්ලොග් රචකයින් කීප දෙනෙක්ම ඉන්නව... එක අතකට මේ විදියට ලැබෙන ප්‍රතිචාර සතුටක්... එයට හේතුව... ඒ මගේ නිර්මාණ ඔවුන්ට මගේ අත්දැකීම් තරමටම තාත්වික වූ නිසා....
මේ සටහන කියවන ඔබට මොකද හිතෙන්නේ? මට "සභ්‍ය" වචනයෙන් බැනිය හැකි තරමටම මේ සටහන විවෘතයි... මන්ද මට මම සිටින මතය කෙතරම් දුරට වැරදිද යන්න අවබෝධ කරගැනීමට අවශ්‍ය වන නිසා....

Wednesday, August 12, 2009

මම...




මම??
දන්නෙ නැද්ද??
මම මලානෙ..
තුන් මාසෙ දානෙත් ඉවරයි..

මලා කිව්වට මිනීමැරුමක්..
ආදරයේ වැඩක් කියලා තමයි කියන්නේ..
දැන් අත් අඩංගුවේ..
ජීවිතාන්තය දක්වාම සිර දඩුවම්..

හොදම වඩේ කරපු දේට..
ඇනලා තියෙන්නේ හරියටම පපුවට..
හදවත පසාරු කරගෙන යන්න..
හදවත මැරුනට මොලේ වැඩ කරපු නිසා..
හරියට වේදනා විදල තමයි මැරුනේ.. :(

මලාට ආයෙ ඉපදුනේ නෑ..
තාම ගන්දබ්බ අවදියේ..
තාම??
ඔව් .... ..... තාම ....... ...... .... ....

Friday, July 3, 2009

ජීවිතයේ නැවතීමේ තිත.


ජීවිතයේ නැවතීමේ තිත ආදරයේ ඇරඹුමක් වීමත් හරි පුදුම දෙයක්. මේ දේවල් හැමෝටම පොදු දේවල් නෙමෙයි. ඒත් සමහරුන්ට මෙහෙම දේවල් මේ ලෝකයේ සිද්ධ වෙනවා.
ආදරය කියන්නේ ජීවිතය අර්ථවත් කරන දෙයක් මිසක් ජීවිතයට නැවතුම් තිතක් නෙමෙයි කියලා බොහෝ දෙනා දාර්ශනිකව ප්‍රකාශ කලත් අපි නොදැනීම නැවතීමේ තිත අපටත් හමුවෙනවා. ජීවිතය අර්ථකථනය කරන්න අමාරුයි. ඒ වගේම ආදරය උනත් අර්ථකථනය කරන්න අපහසුයි. සමහරවිට දෙකම අපහසු නිසා වෙන්න ඇති දෙකම එක පාර කරන්න පුළුවන් කමක් නැතිවෙන්නෙ.
මමත් අද දවසේ මේ අපහසුතාවයම නිසා ජීවිතයේ නැවතුම් තිත තියලා ආදරයේ ඇරඹුම කරා ගමන් කරන්නයි මේ සූදානම. මම ජීවිතය කියලා අර්ථ කථනය කරන්නේ මගේ පොඩි කාලේ ඉදලා හිතේ හිර කරගෙන හිටපු බලාපොරොත්තු නමැති හීන. නමුත් අදින් පස්සෙ මගේ ජීවිතේ හීන වලට ඉඩ නැති වේවි. නමුත් ආදරයේ සොදුරුතම හීනය මං ගාවට අදින් පස්සෙ ළං වෙන්න පටන් ගනීවි. ඒකෙන් මට මේ හැම දෙයක්ම අමතක වෙලා යාවි. ඊට පස්සෙ මගේ අතීතය මටත් අමතක වෙලා යාවි. ඊටත් පස්සෙ මට අතීතයක් නෑ. නමුත් අපේ අතීතයක් බිහිවේවි.

Thursday, March 12, 2009

මම ටිෂූ බොක්ස් එකක්මි..



මගේ නම ටිෂූ බොක්ස්. මම ජීවත් වෙන්නේ කාර් එකක් ඇතුලේ. කාර් එකක් ඇතුලේ කිව්වට අර කැබින් එක කියන එක ඇතුලේ. මාව එක එක වැඩ වලට ප්‍රයෝජනයට ගන්නවා. වැඩි හරියක්ම ප්‍රයෝජනයට ගන්නේ ඒකෙ යන ගෑණු ළමයගේ කදුළු පිහදාන්න. කදුළු ටික පිහදාන්න කියලා ගත්තට හොටු ටිකත් ඔක්කොම අතුල්ලන්නේ මගේම තමයි.
ඒ ගෑණු ළමයට පිං සිද්ධ වෙන්න මම කොහොමටත් දවසකට වරක් වත් කැබින් එකෙන් එලියට එනවා. මම දන්නවා මගේ ගෑවෙන්නේ කදුළු කියලා. ඒවා ලුණු රසයි. ඒ වගේම රස්නෙයි. මට ඒකේ වෙනසක් දැනෙනවා. මගේ ආයු කාලය ඉතාමත් කෙටියි. මොකද මාව සීග්‍රයෙන් ක්ශය වීගෙන යන නිසා. තව දවස් 6ක් වගේ මම ජීවත් වේවි. මම නැති උනාම ඒ ගෑනු ළමයට පාළුවක් දැනේවි. කදුළු එන වෙලාවට මාව මතක් වේවි. ඒ ගෑනු ළමයගෙ ඇස් වලින් කදුළු එන වෙලාවට, මාව අතට ගන්න කොට මම දැක්ක ඒ ගෑනු ළමයා මගේ දිහා බලන්නේ එයාගේ හොදම යාලුවෙක් දිහ බලනවා වගේ කියලා..
මම එයාට ජීවත් වෙලා ඉන්න කාලෙදි හොද යාලුවෙක් වුනා කියල මට සතුටු උන හැකී.. එයා අද උදෙත් මට ස්තූති කලා එයා වෙනුවෙන් මම ඉන්න එකට..
මම හැමදාම එයාගේ යාලුවෙක්.. එයාටත් මම හැමදාම යාලුවෙක්..

Thursday, March 5, 2009

මම, කවියා සහ විද්‍යාඥයා..




කට පාඩම් ජීව විද්‍යාවෙන්
විඩාබර වූ මම..
ගියෙමි උදෑසන
සොබාසිරි විදින්නට
සිංහරාජයට නොව
මාගේ ගෙවත්තට..

දුටිමි ඈත
මද සුලගට
පිපී වැනෙන
"රෝස මලක්"

හනි හනිකට දිව ගොස්
නෙලන්නට තැත් කලෙමි
"නවතින්න, නවතින්න"
කියයි සමහරෙක් මට

කවියා:-
නෙලන්නට එපා ඒ දෙනෙත් පිනවන "කුසුම"
සිහිවේ මගේ සිතට ඇ‍ගෙ සොදුරු වත පියුම
සිඹින්නට සිතේ විටෙක, දරාගන්නෙ බෑ හැගුම
ඇගෙ රක්ත දෙකොපුල් මවයි ආලයේ අරුම

ඇසුනි....
ඈතින්
කොක් හඩල සිනාසෙන
කොරොස් හඩක්...

විද්‍යාඥයා:-
වැරැද්දක් වැරැද්දක් මේක ලොකු වැරැද්දක්
කුසුමක් මලක් නොව තවත් රෝස "පුෂ්පයක්"
ප්ලාන්ටේ රජදහනෙ ඇන්තොෆයිටාවක්
ප්‍රජනනය සිදුකරන සපුෂ්පී ව්‍යුහයක්

සැනෙකින්..
මා පිවිසුනි
පියවි ලොවට!!!
යලිත් අතට ගෙන
ජීව විද්‍යා පොත
තැත් කලෙමි සැරසෙන්ට
එලඹෙන උසස් පෙලට


(මා විසින් උසස් පෙල සමයේ ලියූ සටහනක්.. :) )

Friday, February 27, 2009

අහිමි වූ මමත්වය....!!


සිතුවෙමි මොහොතක් මම
මා ගැන...
මා කව්ද යන වග...
සෙව්වෙමි හැමතැනම,
ලැබුනෙහිය;
එකිනෙකට පරස්පර
පිලිතුරු...

මා පියන්ගෙ දරුවෙකු වන මා
සොයුරාගෙ සොහොයුරියයි..
මිතුරන්ගේ මිතුරකු වන මා
ඔහුගේ හද පෙම්වතියයි..

එතකොට මම??
මම,
මම නොවෙම්ද??
ගැටලුවකි!!

මොහොතකට යලිත් වරක්
මම
අමතක කලෙමි,
මා ගැන,
මමත්ව
තුල අතරමං වූ නිසාවෙන්....