Thursday, March 12, 2009

මම ටිෂූ බොක්ස් එකක්මි..



මගේ නම ටිෂූ බොක්ස්. මම ජීවත් වෙන්නේ කාර් එකක් ඇතුලේ. කාර් එකක් ඇතුලේ කිව්වට අර කැබින් එක කියන එක ඇතුලේ. මාව එක එක වැඩ වලට ප්‍රයෝජනයට ගන්නවා. වැඩි හරියක්ම ප්‍රයෝජනයට ගන්නේ ඒකෙ යන ගෑණු ළමයගේ කදුළු පිහදාන්න. කදුළු ටික පිහදාන්න කියලා ගත්තට හොටු ටිකත් ඔක්කොම අතුල්ලන්නේ මගේම තමයි.
ඒ ගෑණු ළමයට පිං සිද්ධ වෙන්න මම කොහොමටත් දවසකට වරක් වත් කැබින් එකෙන් එලියට එනවා. මම දන්නවා මගේ ගෑවෙන්නේ කදුළු කියලා. ඒවා ලුණු රසයි. ඒ වගේම රස්නෙයි. මට ඒකේ වෙනසක් දැනෙනවා. මගේ ආයු කාලය ඉතාමත් කෙටියි. මොකද මාව සීග්‍රයෙන් ක්ශය වීගෙන යන නිසා. තව දවස් 6ක් වගේ මම ජීවත් වේවි. මම නැති උනාම ඒ ගෑනු ළමයට පාළුවක් දැනේවි. කදුළු එන වෙලාවට මාව මතක් වේවි. ඒ ගෑනු ළමයගෙ ඇස් වලින් කදුළු එන වෙලාවට, මාව අතට ගන්න කොට මම දැක්ක ඒ ගෑනු ළමයා මගේ දිහා බලන්නේ එයාගේ හොදම යාලුවෙක් දිහ බලනවා වගේ කියලා..
මම එයාට ජීවත් වෙලා ඉන්න කාලෙදි හොද යාලුවෙක් වුනා කියල මට සතුටු උන හැකී.. එයා අද උදෙත් මට ස්තූති කලා එයා වෙනුවෙන් මම ඉන්න එකට..
මම හැමදාම එයාගේ යාලුවෙක්.. එයාටත් මම හැමදාම යාලුවෙක්..

Thursday, March 5, 2009

මම, කවියා සහ විද්‍යාඥයා..




කට පාඩම් ජීව විද්‍යාවෙන්
විඩාබර වූ මම..
ගියෙමි උදෑසන
සොබාසිරි විදින්නට
සිංහරාජයට නොව
මාගේ ගෙවත්තට..

දුටිමි ඈත
මද සුලගට
පිපී වැනෙන
"රෝස මලක්"

හනි හනිකට දිව ගොස්
නෙලන්නට තැත් කලෙමි
"නවතින්න, නවතින්න"
කියයි සමහරෙක් මට

කවියා:-
නෙලන්නට එපා ඒ දෙනෙත් පිනවන "කුසුම"
සිහිවේ මගේ සිතට ඇ‍ගෙ සොදුරු වත පියුම
සිඹින්නට සිතේ විටෙක, දරාගන්නෙ බෑ හැගුම
ඇගෙ රක්ත දෙකොපුල් මවයි ආලයේ අරුම

ඇසුනි....
ඈතින්
කොක් හඩල සිනාසෙන
කොරොස් හඩක්...

විද්‍යාඥයා:-
වැරැද්දක් වැරැද්දක් මේක ලොකු වැරැද්දක්
කුසුමක් මලක් නොව තවත් රෝස "පුෂ්පයක්"
ප්ලාන්ටේ රජදහනෙ ඇන්තොෆයිටාවක්
ප්‍රජනනය සිදුකරන සපුෂ්පී ව්‍යුහයක්

සැනෙකින්..
මා පිවිසුනි
පියවි ලොවට!!!
යලිත් අතට ගෙන
ජීව විද්‍යා පොත
තැත් කලෙමි සැරසෙන්ට
එලඹෙන උසස් පෙලට


(මා විසින් උසස් පෙල සමයේ ලියූ සටහනක්.. :) )