Wednesday, August 12, 2009

මම...




මම??
දන්නෙ නැද්ද??
මම මලානෙ..
තුන් මාසෙ දානෙත් ඉවරයි..

මලා කිව්වට මිනීමැරුමක්..
ආදරයේ වැඩක් කියලා තමයි කියන්නේ..
දැන් අත් අඩංගුවේ..
ජීවිතාන්තය දක්වාම සිර දඩුවම්..

හොදම වඩේ කරපු දේට..
ඇනලා තියෙන්නේ හරියටම පපුවට..
හදවත පසාරු කරගෙන යන්න..
හදවත මැරුනට මොලේ වැඩ කරපු නිසා..
හරියට වේදනා විදල තමයි මැරුනේ.. :(

මලාට ආයෙ ඉපදුනේ නෑ..
තාම ගන්දබ්බ අවදියේ..
තාම??
ඔව් .... ..... තාම ....... ...... .... ....

Friday, July 3, 2009

ජීවිතයේ නැවතීමේ තිත.


ජීවිතයේ නැවතීමේ තිත ආදරයේ ඇරඹුමක් වීමත් හරි පුදුම දෙයක්. මේ දේවල් හැමෝටම පොදු දේවල් නෙමෙයි. ඒත් සමහරුන්ට මෙහෙම දේවල් මේ ලෝකයේ සිද්ධ වෙනවා.
ආදරය කියන්නේ ජීවිතය අර්ථවත් කරන දෙයක් මිසක් ජීවිතයට නැවතුම් තිතක් නෙමෙයි කියලා බොහෝ දෙනා දාර්ශනිකව ප්‍රකාශ කලත් අපි නොදැනීම නැවතීමේ තිත අපටත් හමුවෙනවා. ජීවිතය අර්ථකථනය කරන්න අමාරුයි. ඒ වගේම ආදරය උනත් අර්ථකථනය කරන්න අපහසුයි. සමහරවිට දෙකම අපහසු නිසා වෙන්න ඇති දෙකම එක පාර කරන්න පුළුවන් කමක් නැතිවෙන්නෙ.
මමත් අද දවසේ මේ අපහසුතාවයම නිසා ජීවිතයේ නැවතුම් තිත තියලා ආදරයේ ඇරඹුම කරා ගමන් කරන්නයි මේ සූදානම. මම ජීවිතය කියලා අර්ථ කථනය කරන්නේ මගේ පොඩි කාලේ ඉදලා හිතේ හිර කරගෙන හිටපු බලාපොරොත්තු නමැති හීන. නමුත් අදින් පස්සෙ මගේ ජීවිතේ හීන වලට ඉඩ නැති වේවි. නමුත් ආදරයේ සොදුරුතම හීනය මං ගාවට අදින් පස්සෙ ළං වෙන්න පටන් ගනීවි. ඒකෙන් මට මේ හැම දෙයක්ම අමතක වෙලා යාවි. ඊට පස්සෙ මගේ අතීතය මටත් අමතක වෙලා යාවි. ඊටත් පස්සෙ මට අතීතයක් නෑ. නමුත් අපේ අතීතයක් බිහිවේවි.

Thursday, March 12, 2009

මම ටිෂූ බොක්ස් එකක්මි..



මගේ නම ටිෂූ බොක්ස්. මම ජීවත් වෙන්නේ කාර් එකක් ඇතුලේ. කාර් එකක් ඇතුලේ කිව්වට අර කැබින් එක කියන එක ඇතුලේ. මාව එක එක වැඩ වලට ප්‍රයෝජනයට ගන්නවා. වැඩි හරියක්ම ප්‍රයෝජනයට ගන්නේ ඒකෙ යන ගෑණු ළමයගේ කදුළු පිහදාන්න. කදුළු ටික පිහදාන්න කියලා ගත්තට හොටු ටිකත් ඔක්කොම අතුල්ලන්නේ මගේම තමයි.
ඒ ගෑණු ළමයට පිං සිද්ධ වෙන්න මම කොහොමටත් දවසකට වරක් වත් කැබින් එකෙන් එලියට එනවා. මම දන්නවා මගේ ගෑවෙන්නේ කදුළු කියලා. ඒවා ලුණු රසයි. ඒ වගේම රස්නෙයි. මට ඒකේ වෙනසක් දැනෙනවා. මගේ ආයු කාලය ඉතාමත් කෙටියි. මොකද මාව සීග්‍රයෙන් ක්ශය වීගෙන යන නිසා. තව දවස් 6ක් වගේ මම ජීවත් වේවි. මම නැති උනාම ඒ ගෑනු ළමයට පාළුවක් දැනේවි. කදුළු එන වෙලාවට මාව මතක් වේවි. ඒ ගෑනු ළමයගෙ ඇස් වලින් කදුළු එන වෙලාවට, මාව අතට ගන්න කොට මම දැක්ක ඒ ගෑනු ළමයා මගේ දිහා බලන්නේ එයාගේ හොදම යාලුවෙක් දිහ බලනවා වගේ කියලා..
මම එයාට ජීවත් වෙලා ඉන්න කාලෙදි හොද යාලුවෙක් වුනා කියල මට සතුටු උන හැකී.. එයා අද උදෙත් මට ස්තූති කලා එයා වෙනුවෙන් මම ඉන්න එකට..
මම හැමදාම එයාගේ යාලුවෙක්.. එයාටත් මම හැමදාම යාලුවෙක්..

Thursday, March 5, 2009

මම, කවියා සහ විද්‍යාඥයා..




කට පාඩම් ජීව විද්‍යාවෙන්
විඩාබර වූ මම..
ගියෙමි උදෑසන
සොබාසිරි විදින්නට
සිංහරාජයට නොව
මාගේ ගෙවත්තට..

දුටිමි ඈත
මද සුලගට
පිපී වැනෙන
"රෝස මලක්"

හනි හනිකට දිව ගොස්
නෙලන්නට තැත් කලෙමි
"නවතින්න, නවතින්න"
කියයි සමහරෙක් මට

කවියා:-
නෙලන්නට එපා ඒ දෙනෙත් පිනවන "කුසුම"
සිහිවේ මගේ සිතට ඇ‍ගෙ සොදුරු වත පියුම
සිඹින්නට සිතේ විටෙක, දරාගන්නෙ බෑ හැගුම
ඇගෙ රක්ත දෙකොපුල් මවයි ආලයේ අරුම

ඇසුනි....
ඈතින්
කොක් හඩල සිනාසෙන
කොරොස් හඩක්...

විද්‍යාඥයා:-
වැරැද්දක් වැරැද්දක් මේක ලොකු වැරැද්දක්
කුසුමක් මලක් නොව තවත් රෝස "පුෂ්පයක්"
ප්ලාන්ටේ රජදහනෙ ඇන්තොෆයිටාවක්
ප්‍රජනනය සිදුකරන සපුෂ්පී ව්‍යුහයක්

සැනෙකින්..
මා පිවිසුනි
පියවි ලොවට!!!
යලිත් අතට ගෙන
ජීව විද්‍යා පොත
තැත් කලෙමි සැරසෙන්ට
එලඹෙන උසස් පෙලට


(මා විසින් උසස් පෙල සමයේ ලියූ සටහනක්.. :) )

Friday, February 27, 2009

අහිමි වූ මමත්වය....!!


සිතුවෙමි මොහොතක් මම
මා ගැන...
මා කව්ද යන වග...
සෙව්වෙමි හැමතැනම,
ලැබුනෙහිය;
එකිනෙකට පරස්පර
පිලිතුරු...

මා පියන්ගෙ දරුවෙකු වන මා
සොයුරාගෙ සොහොයුරියයි..
මිතුරන්ගේ මිතුරකු වන මා
ඔහුගේ හද පෙම්වතියයි..

එතකොට මම??
මම,
මම නොවෙම්ද??
ගැටලුවකි!!

මොහොතකට යලිත් වරක්
මම
අමතක කලෙමි,
මා ගැන,
මමත්ව
තුල අතරමං වූ නිසාවෙන්....

Thursday, November 20, 2008

නියම ශ්‍රි ලාංකිකයන්....





මේ මට විද්‍යුත් තැපෑලක් මගින් ලැබුණු ඡායාරූප කිහිපයක්... අපේ රණවිරුවන් තමන්ගේ සතුරන්ටත් දයාව, කරුණාව නොමදව ලබා දෙන අයුරුයි මේ..
අපේ රණවිරුවන්ගේ විශිෂ්ටත්වය වෙනුවෙනි මේ බ්ලොග් සටහන.
මේ ඡායාරූප කිහිපය මගේ සටහනකට වඩා ඹබට සමීප වන නිසා අද මගේ අදහස දැක්විය යුතු නැතැයි මට සිතුනා.
ඹබේ අදහස් වලට මේ සටහන විවෘත කරමින් මම අදට සමු ගන්නවා.

රණවිරුවනි, අප සදා ඔබට ණයගැතියි...!!

Sri Lanka.. One Country... One Nation..

Tuesday, September 9, 2008

ඊළග සති අන්තය තෙක්.........(Till next weekend)



අද සිකුරාදා....
ඇති යන්තම්,
ගෙදර ගිහින් සැනසිල්ලේ
කාර්‍යාල අමතක කර
නිදා ගන්න පූළුවන්...
නිදා ගන්න???? මොන පිස්සුද?
හෙට ශනිදා....

ඔන්න ඉතින් අද ශනිදා...
උදේ පටන් රෑ වනතුරු
උපාධියේ දේශන සහ වැඩ කටයුතු
ගානක් නෑ.... හෙට ඉරිදනේ

දන්නෙත් නෑ.. ඉරිද ඇවිත්
මහන්සියට නින්ද ගියා
දොලහයි මම නැගිටින කොට
තව එක වරුවක් ඉතිරියි..

නාලා, කාලා, බීලා, ටිකක්
සැනසිල්ලේ ඉන්න ඕනෙ..
සැනසිල්ලේ??? ඒ කොහොමද?
හෙට සදුදනෙ...

ඒක තමයි .. හෙට සදුදනෙ
ගානක් නෑ...... (ගනන් ගත්තත් කරන්න දේකුත් නෑ)
ඊළග සති අන්තය තෙක්,
විවේකයක් නොමැති වුවත්,
බලා ඉන්නවා ආයෙත්.............